Mushroom 1

 

හම්බන්‌තොට දිස්ත්‍රික්කයේ මෙතෙක් කිසිදු රාජ්‍ය හෝ පුද්ගලික අංශය විසින් ස්ථාපිත කර නොමැති මට්ටමේ අති නවීන තාක්ෂණයෙන් යුත් සහල් සැකසුම් මධ්‍යස්ථානයක් දකුණු පළාත සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට චීනයේ හයිනෑන් ප්‍රාන්ත රජයේ එකඟතාවය පළ කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. එම සහල් සැකසුම් මධ්‍යස්ථානය බොහෝ දුරට අඟුණකොපැලැස්ස ජඳුර හා ගුරුවල ගම්මාන දෙක කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවන අතර රැකියා විරහිත තරුණ ප්‍රජාව සහභාගි කර ගනිමින් සමුපකාර ක්‍රමයක් යටතේ මෙම සහල් සැකසුම් මධ්‍යස්ථානය පවත්වා ගෙන යාමට නියමිතය.

මීට සති දෙකකට පෙර චීනයේ හයිනෑන් ප්‍රාන්තයේ සිදු කළ නිල සංචාරයක දී තමන් එම රජයෙන් මේ සම්බන්ධව ඉල්ලීමක් කළ බවත්, ඒ අනුව ඊට යහපත් ප්‍රතිචාර පළ වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
2024.01.06 දින ගුරුවල හා ජඳුර ගම්මාන ආශ්‍රිතව පිහිටුවා ඇති බිම්මල් නිෂ්පාදන ගම්මානය සඳහා තවදුරටත් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන හා උපකරණ ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම බිම්මල් නිෂ්පාදන ගම්මානය යටතේ මේ වන විට පවුල් 200කට අධික පිරිසක් සාර්ථක ලෙස බිම්මල් වගා කරන අතර ඒවා අලෙවි කිරීම මගින් ඔවුන් දෛනිකව විශාල ආදායමක් උපයනු ලබයි. 2024.01.06 දිනය තුළ රුපියල් මිලියන 10ක උපකරණ හා මූල්‍ය ප්‍රතිපාදන බිම්මල් නිෂ්පාදන කරුවන්ට බෙදා දීම අමාත්‍යවරයා අතින් සිදු කෙරිනි.

මෙහි දී අමාත්‍යවරයා ප්‍රකශ කරන ලද්දේ, මෙරට සහල් නිෂ්පාදනය සඳහා දැවැන්ත ඒකාධිකාරයක් තිබෙනවා. සහල් මිල තීරණය කරන්නේ මෙම ඒකාධිකාරයේ සිටින සහල් මෝල් අයිතිකරුවන් කිහිප දෙනෙක් විසිනුයි. මෙම අධිකාරය බිදීමට නම් රජය සතුව ඉහළ තාක්ෂණයෙන් යුත් සහල් මෝල් කීහිපයක් රට තුළ ක්‍රියාත්මක කළ යුතුයි. එය රජයට තනිවම කළ හැකි දෙයක් නොවෙයි. ඒ නිසා ජඳුර හා ගුරුවල තරුණ පිරිස යොදා ගනිමින් මෙම පළමු සහල් සැකසීම් මධ්‍යස්ථානය සඳහා සමුපකාර වැඩ පිළිවෙළක් අපි සකස් කරනවා.

මෙම නවීන පහසුකම්වලින් යුත් සහල් මෝල අපි පළමුවරට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටුවනවා. දැනට හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ නොමැති ආකාරයේ නවීන අංගොපාංගවලින් සමන්විත මෙම සහල් මෝල මගින් සමස්ත දකුණු පළාතේම නිෂ්පාදනය කරන වී සහල් බවට පත් කර රටපුරා බෙදා හැරීමට හැකිවෙනවා. චීන රජය සමග කළ සාකච්ඡා අනුව මේ වනවිට යහපත් ප්‍රතිචාර ලැබී තිබෙනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 

 12  13
 14  15

 

ජාතික තේ නිෂ්පාදනය ඉහළ නංවා ඩොලර් බිලියන 2 ක තේ අපනයන ආදායමක් ලබාගැනීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය එක්ව ආරම්භ කළ ඍජු තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය පසුගියදා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ඇල්පිටියේදී පැවැත්විය. මෙම උත්සවයට සමගාමීව තේ වගා කරන දිස්ත්‍රික්ක 6 ක් සඳහාද මෙම ඍජු තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතිය හදුන්වා දෙන ලදී.


මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, 2021 හා 2022 වසර වල ජාතික අපනයන ආදායමට වැඩිම දායකත්වයක් වැවැලි ක්ෂේත්‍රයෙන් ලබාදුන් බවය. එහිදී පොල් අපනයනයෙන් ඩොලර් මිලියන 890 ක්ද, රබර් වලින් ඩොලර් බිලියන 1 ක්ද කුරුඳු වලින් ඩොලර් මිලියන 420 ක් හා තේ වලින් ඩොලර් බිලියන 1.23 ක් ජාතික අපනයන ආදායමට ලබාදුන් බවයි. ඉදිරියේදී තේ අපනයනයෙන් ඩොලර් බිලියන 2 ක් ඉපයීම තම අමාත්‍යාංශයේ බලාපොරොත්තුව බවත් එය සාක්ෂාත් කර ගැනීමේ අරමුණ ඇතිව මෙම ඍජු තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවසීය. ශ්‍රි ලංකාව පුරා කුඩා තේවතු හිමියන් ලක්ෂ 4 ක් පමණ සිටින බවත් ඔවුන්ට තේ වගාව වෙනුවෙන් ලබා දෙන සහනාධාර නොවනස්ව ඉදිරියටත් එලෙසම ලබාදෙන බවත් ඉදිරියේදී පොහොර මිල තවදුරටත් අඩුකිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් රමේෂ් පතිරණ අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.


මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, වැවිලි කර්මාන්ත අමාතයාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, තේ පර්යේෂණ ආයතනයේ සභාපති චින්තක ලොකුහෙට්ටි, කුඩා තේවතු සංගමයේ සභාපති, ඇල්පිටිය ප්‍රාදේශීය සභා සභාපති, කුඩා තේ වතු හිමියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

 

 

 Rome

ජාත්‍යන්තර තේ දිනය වෙනුවෙන් මැයි මස 21 වන දින ඉතාලියේ රෝම නගරයේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මූලස්ථානයේදී පැවති විශේෂ සැමරුම් උත්සව අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එක්විය.


FAO හි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය QU Dongyu මහතාගේ මූලිකත්වයෙන් පැවති මෙම සමුළුවට තේ නිපදවන සියළු රටවල් නියෝජනය කරමින් නියෝජිතයන් එක්ව සිටියහ. මෙම සමුළුව තුළදී මූලිකව කුඩා තේ වතු හිමියන් කෙරෙහි අවධානය යොමු කෙරුණු අතර, ඔවුන්ට සහාය වීමට සහ ඔවුන් මුහුණ දෙන අභියෝග ජය ගැනීමට ඔවුන්ට උපකාර කිරීමට ඇති හැකියාවන් පිළිබඳව සාකච්ඡා කෙරිණි. එහිදී අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයේදී කුඩා තේවතු හිමියන් දක්වන දායකත්වය පිළිබඳවත්, ඔවුන්ගේ ආර්ථිකය ස්ථාවර කරලීම පිළිබඳවත්, තේ කර්මාන්තය තුළ අගනා මෙහෙයක් ඉටුකරන වතු කම්කරු ප්‍රජාව පිළිබඳව මෙන්ම ඔවුන්ගේ සමාජ හා ආර්ථික ජීවන අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන ආකාරය පිළිබඳවත්, සමුළුව දැනුවත් කිරීම සිදුකෙරිණි.


මෙම උත්සව අවස්ථාවට සමගාමීව එක්සත් ජාතීන්ගේ කාන්තා සංසදයේ (UNWG) සහයෝගීතාවයෙන් FAO මූලස්ථානයේ Atrium හි තේ කර්මාන්තය මුල්කොට ගත් ප්‍රදර්ශනයක් පවත්වනු ලැබූ අතර තේ රස බැලීමේ උත්සවයක්ද සංවිධානය කොට තිබුණි. එම ප්‍රදර්ශනය සංවිධානයේ අරමුණ වූයේ කුඩා වතු හිමියන් සහ ග්‍රාමීය ජීවනෝපාය සඳහා එම අංශය ඉටු කරන ප්‍රධාන කාර්යභාරය සහ SDGs සාක්ෂාත් කර ගැනීම සඳහා එහි දායකත්වය පිළිබඳව නරඹන්නන් දැනුවත් කිරීමය.
මෙම සැමරුම මගින් යහපැවැත්මේ ඉපැරණි සංකේතයක් ලෙස තේ වල ගැඹුරු සංස්කෘතික උරුමය පෙන්නුම් කිරීම සිදුකෙරුණු අතර එයට UNWG සම්බන්ධ කර ගැනීම තුළින් තේ වටිනාකම් දාමය ඔස්සේ කාන්තාවන්ගේ දායකත්වය පිළිබඳව තේ සංස්කෘතියක් හරහා ගෝලීය වශයෙන් සමාජයන්හි කතිකාවක් ඇති කිරීම සිදුකෙරිණි.

 

 q1  q2
 q3  q4
 q5  

ශ්‍රී ලංකා ෆෙස්ටිවල් (Sri Lanka Festival) -2023 උත්සවය පසුගියදා ජපානයේ කමගයා නාගරික ක්‍රීඩාංගනයේදී ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා සහ කමගයා නගරාධිපති ශිවෝතා හීරෝමි යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත්ව පැවැත්විණි. ජපන් ජාතිකයන් අතර ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් වශයෙන් ප්‍රවර්ධනය කිරීමත්, ශ්‍රී ලාංකික නිෂ්පාදන හා සේවාවන් ප්‍රවර්ධන කිරීමත් අරමුණු කොට ගනිමින් ජපන් ශ්‍රී ලංකා සංගමය විසින් මෙම උත්සවය සංවිධානය කොට තිබුණි.


ශ්‍රී ලාංකික නර්තන හා සංගීතයෙන් වර්ණවත් වූ මෙම උළෙල නැරඹීම සඳහා ජපන් වැසියන් හා ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් එක්වූ අතර එහිදී ශ්‍රී ලාංකික ආහාර පාන ලබා ගැනීමටත් , ශ්‍රී ලාංකික වෙනත් නිෂ්පාදනයන් මිලදී ගැනීමටත් ජපන් වැසියන් තුළ විශාල උනන්දුවක් පවතිනු දැකගත හැකිවිණි. එහිදී සුවිශේෂී ලෙස ශ්‍රී ලාංකේය තැඹිලි වෙනුවෙන් ජපන් ජාතිකයන් අතර විශාල ඉල්ලුමක් පවතිනු දැකගත හැකිවූ අතර එය මෙරට තැඹිලි නිෂ්පාදන අපනයනයේ යෙදෙන ව්‍යවසායකයින් හට බෙහෙවින් සුබදායී පුවතක් වනු ඇත.


මෙම උත්සවය සාර්ථක කරගැනීමට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මගපෙන්වීම , ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය, වාහන අපනයන කරුවන්ගේ සංගමය ඇතුළු ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දායකත්වය නොපිරිහෙලා ලැබී තිබුණු අතර මෙම අවස්ථාවට ජපන් ශ්‍රී ලාංකික සංගමයේ සභාපති සමන් ප්‍රියංකර මහතා ඇතුළු ශ්‍රී ලාංකිකයන් හා ජපන් ජාතිකයන් විශාල ප්‍රමාණයක් එක්ව සිටියහ.

 qqq2  qqq1
 qqq4  qqq3
 qqq5  qqq6

වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අයත් රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ පවතින මහනුවර ගෝමර වතුයායේ රු.මිලියන 17ක ආයෝජනයක් තුලින් නවීන තාක්ෂණයෙන් යුතුව නැවත ප්‍රතිස්ථාපනය කරන ලද තේ කර්මාන්ත ශාලාව විවෘත කිරීම වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් , වැවිලි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.


මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, “රාජ්‍ය වැවිලි සංස්ථාව පසුගිය වසර වනවිට රු. මිලියන 42ක ශුද්ධ ලාභයක් ලබා ගත් බවත්, ගෝමර වතුයායේ ආරම්භ කළ මෙම තේ කර්මාන්ත ශාලාව හේතුවෙන් හෙට දිනයේදී නැවත තේ වගාව සහ ප්‍රමිතිගත තේ නිෂ්පාදනය යන ඉලක්කයන් ප්‍රවර්ධනය කරගැනීමට ඉවහල් වනු ඇති බවත්” ප්‍රකාශ කරන ලදී.


මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ හෙක්ටයාර 600ක වපසරියක නැවත තේ සක්‍රීය වගා භූමියක් බවට පත්කිරීමේ ඉලක්කය වෙනුවෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය උපරිම සහයෝගය ලබාදීමටද කටයුතු කරන බවත් දැනට අමාත්‍යංශය මගින් ආරම්භ කොට ඇති ' ඍජු තේ වගාව ' ප්‍රවර්ධනය කිරීමටද රාජ්‍ය වැවිලි සංස්ථාව හරහා මෙවැනි අලුත් ආරම්භයන් තැබිම තේ වගා කර්මාන්තයට ලැබෙන හොද උත්තේජනයක් වන බවය.


මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ජානක ධර්මකීර්ති ඇතුළු අමාත්‍යංශ නිළධාරින් , රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති නීතිඥ ශ්‍රීමාල් විජේසේකර ඇතුළු එහි නිළධාරින් , ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති ඇතුළු නිළධාරින් , වැවිලි ක්ෂේත්‍රය හා සම්බන්ධ සම්භාවනීයන් මෙන්ම ප්‍රදේශයේ ජනතාව එක්ව සිටියහ.

 

 ww2  ww1
 ww3  ww4

වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා කොළඹ, ඩියුක් වීදියේදී, පොල් සංවර්ධන අධිකාරියේ තනි නැවතුම් වෙළෙඳ සේවා මධ්‍යස්ථානය ( One-stop Business Center ) විවෘත කරන ලදී.
මෙහිදී අදහස් දක්වමින් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සදහන් කළේ 2025-2026 වන විට පොල් ආශ්‍රිත කර්මාන්තයේ අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවා යාම අපේක්ෂාව බවයි. පසු ගිය වසර තුනක කාලය තුල වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, පොල් කර්මාන්තයේ දියුණුව සඳහා වැදගත් තීන්දු කීපයක් ගත් බවත් ගස් හෙලීමේ පනතට ඇතුලත්ව නොතිබුණු පොල් ගස, ගස් හෙලීමේ පනතට ඇතුළත් කළ බවත් පොල් ඉඩම් කැබලි කිරීම සදහා කරන ලද ඉල්ලීම් වලින් අත්‍යාවශ්‍යම හේතුන් මත පමණක් ඉඩම් කැබලි කිරීමේ මණ්ඩලය මගින් අවසර ලබා දුන් බවත් ප්‍රකාශ කලේය.


මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ගිය වසරේ අවසන් කාර්තුවේ ලෝක වෙළද පොළ තත්වයන් සමග යම් කිසි ඇනවුම් ප්‍රමාණයක් අඩු වුවත් පොල් ආශ්‍රිත අපනයනකරුවන් ඩොලර් මිලියන 800 ඉක්මවා යන ඉලක්කයක් සපුරාගෙන තිබෙන බවත් මේ වනවිට තේ වලට සාපේක්ෂව පොල් ආශ්‍රිත නිෂ්පාදන සදහා විශේෂයෙන්ම පොල් පිටි, පොල් කිරි, පොල් වතුර සහ තැඹිලි වලට තිබෙන ඉල්ලුම ක්‍රමානුකූලව වැඩිවෙමින් පවතින බවත්ය. එම නිසා මේ මොහොතේ පොල් කර්මාන්තය දෙස සුබවාදීව බැලීමට හැති බවත් ඩොලර් බිලියනකය අපනයන ආදායම අපට ඉතාම නුදුරේදී ලබා ගැනීමට හැකිවන බවත් පසුව එය දෙගුණ කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ වෙනුවෙන් දිවයිනේ සියළු පළාත් වල පොල් වගාව ව්‍යාප්ත කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට අප අමාත්‍යංශය කැපවී සිටින බවද ප්‍රකාශ කරන ලදී.


මෙම නව මධ්‍යස්ථාන හරහා වාර්ෂිකව ඩොලර් මිලියන 820 ක අපනයන ආදායමක් ලබාදෙන පොල් කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලෙන ලියාපදිංචි 2000කට අධික පිරිස ඇතුළුව සමස්ථ 3000කට අධික පිරිසකට මෙන්ම මෙම ක්ෂේත්‍රය හා අලුතින් එක්වීමට කැමති පිරිස් වෙතද අවශ්‍ය පහසුකම් එකම තැනකින් සැපයීමට අපේක්ෂා කෙරෙයි. ඒ වෙනුවෙන් පැය 24 පුරාම ක්‍රියාත්මක පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් ( 24/7 Customer Care Center ) , දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයක් ( Call Center ) , මාධ්‍ය ඒකකයක් ( Media Unit) , තොරතුරු තාක්ෂණ ඒකකයක් ( IT Unit) , අලෙවි බුද්ධි අංශයක් (Marketing Intelligence Unit) ආදි අංශ රැසක්ම මෙම නව මධ්‍යස්ථානය තුළින් ක්‍රියාත්මක වෙයි.


මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ජානක ධර්මකීර්ති , කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ , පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා ඇතුළු රාජ්‍ය නිළධාරින් , පොල් අපනයනය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.

 

 

   
   

ශ්‍රී ලංකාවේ පළමු කුළුබඩු ආශ්‍රිත නිල වෙබ් අඩවිය ලෙස www.spicelk.com වෙබ් අඩවිය වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එළි දැක්වීය. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය විසින්, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කුළුබඩු නිෂ්පාදකයන්ගේ ගුණාත්මක නිෂ්පාදන දේශීය මෙන්ම විදේශීය වෙළඳපළ වෙත ගෙනයාමේ අරමුණ ඇතිව මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කලේ , “කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය ආරම්භකර වසර 1 ½ ක් වැනි කෙටි කාලයක් තුල දේශීය සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ගේ කුළුබඩු විදේශ වෙළඳපලට යැවීමේ මූලික පියවර තබමින් මෙම වෙබ් අඩවිය ආරම්භ කිරීම පිළිබඳව ඉතාමත් සතුටට පත්වෙන බවත් වර්තමනයේ යම් යම් රාජ්‍ය ආයතන පාඩු ලබමින් වසා දමන තත්වයක පවතින අවස්ථාවක රාජ්‍ය ආයතනයක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ටද අවස්ථාව සලසමින් ආදායම් ඉපයීමට කටයුතු කිරීම අගය කරන බවත්ය.

චීනය වැනි රටවල කුළුබඩු සදහා විශාල වෙළඳපලක් තිබෙන බවත්, අප එවැනි වෙළඳපළවල් වෙත පිවිසීම තුලින් දේශිය සුළු හා මධ්‍ය පරිමාණ කුළුබඩු නිෂ්පාදකයන්ටද මෙන්ම වගාකරුවන්ට වැදගත් වෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ දේශීය කුළුබඩු පිළිබඳ තොරතුරු මෙන්ම කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන අළෙවිසැල් 24 පිළිබඳ තොරතුරුද මෙම වෙබ් අඩවිය තුළ අන්තර්ගත වේ. තවද මාර්ගගත ක්‍රමය හරහා (Online) ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයකට කුළුබඩු නිෂ්පාදන ගෙන්වා ගැනීමේ හැකියාවද මෙමඟින් ලැබෙන අතර ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඉතා ඉක්මනින් එම කුළුබඩු නිෂ්පාදන පාරිභෝගිකයින්ගේ අතටම ලබාදේ. ඉදිරියේදී විදේශගත ගැණුම්කරුවන්ටද මෙම මාර්ගගත ක්‍රමය ඔස්සේ කුළුබඩු නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමට කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය සැලසුම් කර ඇත.

මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය සහාපතිනි කුමුදුනී ගුණසේකර, කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය ප්‍රධාන විධායක අධ්‍යක්ෂ මහේෂ් ගුණරත්න, ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.