Mushroom 1

 

හම්බන්‌තොට දිස්ත්‍රික්කයේ මෙතෙක් කිසිදු රාජ්‍ය හෝ පුද්ගලික අංශය විසින් ස්ථාපිත කර නොමැති මට්ටමේ අති නවීන තාක්ෂණයෙන් යුත් සහල් සැකසුම් මධ්‍යස්ථානයක් දකුණු පළාත සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට චීනයේ හයිනෑන් ප්‍රාන්ත රජයේ එකඟතාවය පළ කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. එම සහල් සැකසුම් මධ්‍යස්ථානය බොහෝ දුරට අඟුණකොපැලැස්ස ජඳුර හා ගුරුවල ගම්මාන දෙක කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවන අතර රැකියා විරහිත තරුණ ප්‍රජාව සහභාගි කර ගනිමින් සමුපකාර ක්‍රමයක් යටතේ මෙම සහල් සැකසුම් මධ්‍යස්ථානය පවත්වා ගෙන යාමට නියමිතය.

මීට සති දෙකකට පෙර චීනයේ හයිනෑන් ප්‍රාන්තයේ සිදු කළ නිල සංචාරයක දී තමන් එම රජයෙන් මේ සම්බන්ධව ඉල්ලීමක් කළ බවත්, ඒ අනුව ඊට යහපත් ප්‍රතිචාර පළ වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
2024.01.06 දින ගුරුවල හා ජඳුර ගම්මාන ආශ්‍රිතව පිහිටුවා ඇති බිම්මල් නිෂ්පාදන ගම්මානය සඳහා තවදුරටත් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන හා උපකරණ ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම බිම්මල් නිෂ්පාදන ගම්මානය යටතේ මේ වන විට පවුල් 200කට අධික පිරිසක් සාර්ථක ලෙස බිම්මල් වගා කරන අතර ඒවා අලෙවි කිරීම මගින් ඔවුන් දෛනිකව විශාල ආදායමක් උපයනු ලබයි. 2024.01.06 දිනය තුළ රුපියල් මිලියන 10ක උපකරණ හා මූල්‍ය ප්‍රතිපාදන බිම්මල් නිෂ්පාදන කරුවන්ට බෙදා දීම අමාත්‍යවරයා අතින් සිදු කෙරිනි.

මෙහි දී අමාත්‍යවරයා ප්‍රකශ කරන ලද්දේ, මෙරට සහල් නිෂ්පාදනය සඳහා දැවැන්ත ඒකාධිකාරයක් තිබෙනවා. සහල් මිල තීරණය කරන්නේ මෙම ඒකාධිකාරයේ සිටින සහල් මෝල් අයිතිකරුවන් කිහිප දෙනෙක් විසිනුයි. මෙම අධිකාරය බිදීමට නම් රජය සතුව ඉහළ තාක්ෂණයෙන් යුත් සහල් මෝල් කීහිපයක් රට තුළ ක්‍රියාත්මක කළ යුතුයි. එය රජයට තනිවම කළ හැකි දෙයක් නොවෙයි. ඒ නිසා ජඳුර හා ගුරුවල තරුණ පිරිස යොදා ගනිමින් මෙම පළමු සහල් සැකසීම් මධ්‍යස්ථානය සඳහා සමුපකාර වැඩ පිළිවෙළක් අපි සකස් කරනවා.

මෙම නවීන පහසුකම්වලින් යුත් සහල් මෝල අපි පළමුවරට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටුවනවා. දැනට හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ නොමැති ආකාරයේ නවීන අංගොපාංගවලින් සමන්විත මෙම සහල් මෝල මගින් සමස්ත දකුණු පළාතේම නිෂ්පාදනය කරන වී සහල් බවට පත් කර රටපුරා බෙදා හැරීමට හැකිවෙනවා. චීන රජය සමග කළ සාකච්ඡා අනුව මේ වනවිට යහපත් ප්‍රතිචාර ලැබී තිබෙනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.