12  13
 14  15

 

ජාතික තේ නිෂ්පාදනය ඉහළ නංවා ඩොලර් බිලියන 2 ක තේ අපනයන ආදායමක් ලබාගැනීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය එක්ව ආරම්භ කළ ඍජු තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය පසුගියදා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ඇල්පිටියේදී පැවැත්විය. මෙම උත්සවයට සමගාමීව තේ වගා කරන දිස්ත්‍රික්ක 6 ක් සඳහාද මෙම ඍජු තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතිය හදුන්වා දෙන ලදී.


මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, 2021 හා 2022 වසර වල ජාතික අපනයන ආදායමට වැඩිම දායකත්වයක් වැවැලි ක්ෂේත්‍රයෙන් ලබාදුන් බවය. එහිදී පොල් අපනයනයෙන් ඩොලර් මිලියන 890 ක්ද, රබර් වලින් ඩොලර් බිලියන 1 ක්ද කුරුඳු වලින් ඩොලර් මිලියන 420 ක් හා තේ වලින් ඩොලර් බිලියන 1.23 ක් ජාතික අපනයන ආදායමට ලබාදුන් බවයි. ඉදිරියේදී තේ අපනයනයෙන් ඩොලර් බිලියන 2 ක් ඉපයීම තම අමාත්‍යාංශයේ බලාපොරොත්තුව බවත් එය සාක්ෂාත් කර ගැනීමේ අරමුණ ඇතිව මෙම ඍජු තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවසීය. ශ්‍රි ලංකාව පුරා කුඩා තේවතු හිමියන් ලක්ෂ 4 ක් පමණ සිටින බවත් ඔවුන්ට තේ වගාව වෙනුවෙන් ලබා දෙන සහනාධාර නොවනස්ව ඉදිරියටත් එලෙසම ලබාදෙන බවත් ඉදිරියේදී පොහොර මිල තවදුරටත් අඩුකිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් රමේෂ් පතිරණ අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.


මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, වැවිලි කර්මාන්ත අමාතයාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, තේ පර්යේෂණ ආයතනයේ සභාපති චින්තක ලොකුහෙට්ටි, කුඩා තේවතු සංගමයේ සභාපති, ඇල්පිටිය ප්‍රාදේශීය සභා සභාපති, කුඩා තේ වතු හිමියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.