Rome

ජාත්‍යන්තර තේ දිනය වෙනුවෙන් මැයි මස 21 වන දින ඉතාලියේ රෝම නගරයේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මූලස්ථානයේදී පැවති විශේෂ සැමරුම් උත්සව අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එක්විය.


FAO හි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය QU Dongyu මහතාගේ මූලිකත්වයෙන් පැවති මෙම සමුළුවට තේ නිපදවන සියළු රටවල් නියෝජනය කරමින් නියෝජිතයන් එක්ව සිටියහ. මෙම සමුළුව තුළදී මූලිකව කුඩා තේ වතු හිමියන් කෙරෙහි අවධානය යොමු කෙරුණු අතර, ඔවුන්ට සහාය වීමට සහ ඔවුන් මුහුණ දෙන අභියෝග ජය ගැනීමට ඔවුන්ට උපකාර කිරීමට ඇති හැකියාවන් පිළිබඳව සාකච්ඡා කෙරිණි. එහිදී අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයේදී කුඩා තේවතු හිමියන් දක්වන දායකත්වය පිළිබඳවත්, ඔවුන්ගේ ආර්ථිකය ස්ථාවර කරලීම පිළිබඳවත්, තේ කර්මාන්තය තුළ අගනා මෙහෙයක් ඉටුකරන වතු කම්කරු ප්‍රජාව පිළිබඳව මෙන්ම ඔවුන්ගේ සමාජ හා ආර්ථික ජීවන අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන ආකාරය පිළිබඳවත්, සමුළුව දැනුවත් කිරීම සිදුකෙරිණි.


මෙම උත්සව අවස්ථාවට සමගාමීව එක්සත් ජාතීන්ගේ කාන්තා සංසදයේ (UNWG) සහයෝගීතාවයෙන් FAO මූලස්ථානයේ Atrium හි තේ කර්මාන්තය මුල්කොට ගත් ප්‍රදර්ශනයක් පවත්වනු ලැබූ අතර තේ රස බැලීමේ උත්සවයක්ද සංවිධානය කොට තිබුණි. එම ප්‍රදර්ශනය සංවිධානයේ අරමුණ වූයේ කුඩා වතු හිමියන් සහ ග්‍රාමීය ජීවනෝපාය සඳහා එම අංශය ඉටු කරන ප්‍රධාන කාර්යභාරය සහ SDGs සාක්ෂාත් කර ගැනීම සඳහා එහි දායකත්වය පිළිබඳව නරඹන්නන් දැනුවත් කිරීමය.
මෙම සැමරුම මගින් යහපැවැත්මේ ඉපැරණි සංකේතයක් ලෙස තේ වල ගැඹුරු සංස්කෘතික උරුමය පෙන්නුම් කිරීම සිදුකෙරුණු අතර එයට UNWG සම්බන්ධ කර ගැනීම තුළින් තේ වටිනාකම් දාමය ඔස්සේ කාන්තාවන්ගේ දායකත්වය පිළිබඳව තේ සංස්කෘතියක් හරහා ගෝලීය වශයෙන් සමාජයන්හි කතිකාවක් ඇති කිරීම සිදුකෙරිණි.