ww2  ww1
 ww3  ww4

වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා කොළඹ, ඩියුක් වීදියේදී, පොල් සංවර්ධන අධිකාරියේ තනි නැවතුම් වෙළෙඳ සේවා මධ්‍යස්ථානය ( One-stop Business Center ) විවෘත කරන ලදී.
මෙහිදී අදහස් දක්වමින් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සදහන් කළේ 2025-2026 වන විට පොල් ආශ්‍රිත කර්මාන්තයේ අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවා යාම අපේක්ෂාව බවයි. පසු ගිය වසර තුනක කාලය තුල වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, පොල් කර්මාන්තයේ දියුණුව සඳහා වැදගත් තීන්දු කීපයක් ගත් බවත් ගස් හෙලීමේ පනතට ඇතුලත්ව නොතිබුණු පොල් ගස, ගස් හෙලීමේ පනතට ඇතුළත් කළ බවත් පොල් ඉඩම් කැබලි කිරීම සදහා කරන ලද ඉල්ලීම් වලින් අත්‍යාවශ්‍යම හේතුන් මත පමණක් ඉඩම් කැබලි කිරීමේ මණ්ඩලය මගින් අවසර ලබා දුන් බවත් ප්‍රකාශ කලේය.


මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ගිය වසරේ අවසන් කාර්තුවේ ලෝක වෙළද පොළ තත්වයන් සමග යම් කිසි ඇනවුම් ප්‍රමාණයක් අඩු වුවත් පොල් ආශ්‍රිත අපනයනකරුවන් ඩොලර් මිලියන 800 ඉක්මවා යන ඉලක්කයක් සපුරාගෙන තිබෙන බවත් මේ වනවිට තේ වලට සාපේක්ෂව පොල් ආශ්‍රිත නිෂ්පාදන සදහා විශේෂයෙන්ම පොල් පිටි, පොල් කිරි, පොල් වතුර සහ තැඹිලි වලට තිබෙන ඉල්ලුම ක්‍රමානුකූලව වැඩිවෙමින් පවතින බවත්ය. එම නිසා මේ මොහොතේ පොල් කර්මාන්තය දෙස සුබවාදීව බැලීමට හැති බවත් ඩොලර් බිලියනකය අපනයන ආදායම අපට ඉතාම නුදුරේදී ලබා ගැනීමට හැකිවන බවත් පසුව එය දෙගුණ කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ වෙනුවෙන් දිවයිනේ සියළු පළාත් වල පොල් වගාව ව්‍යාප්ත කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට අප අමාත්‍යංශය කැපවී සිටින බවද ප්‍රකාශ කරන ලදී.


මෙම නව මධ්‍යස්ථාන හරහා වාර්ෂිකව ඩොලර් මිලියන 820 ක අපනයන ආදායමක් ලබාදෙන පොල් කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලෙන ලියාපදිංචි 2000කට අධික පිරිස ඇතුළුව සමස්ථ 3000කට අධික පිරිසකට මෙන්ම මෙම ක්ෂේත්‍රය හා අලුතින් එක්වීමට කැමති පිරිස් වෙතද අවශ්‍ය පහසුකම් එකම තැනකින් සැපයීමට අපේක්ෂා කෙරෙයි. ඒ වෙනුවෙන් පැය 24 පුරාම ක්‍රියාත්මක පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් ( 24/7 Customer Care Center ) , දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයක් ( Call Center ) , මාධ්‍ය ඒකකයක් ( Media Unit) , තොරතුරු තාක්ෂණ ඒකකයක් ( IT Unit) , අලෙවි බුද්ධි අංශයක් (Marketing Intelligence Unit) ආදි අංශ රැසක්ම මෙම නව මධ්‍යස්ථානය තුළින් ක්‍රියාත්මක වෙයි.


මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ජානක ධර්මකීර්ති , කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ , පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා ඇතුළු රාජ්‍ය නිළධාරින් , පොල් අපනයනය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.