ශ්‍රී ලංකාවේ පළමු කුළුබඩු ආශ්‍රිත නිල වෙබ් අඩවිය ලෙස www.spicelk.com වෙබ් අඩවිය වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එළි දැක්වීය. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය විසින්, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කුළුබඩු නිෂ්පාදකයන්ගේ ගුණාත්මක නිෂ්පාදන දේශීය මෙන්ම විදේශීය වෙළඳපළ වෙත ගෙනයාමේ අරමුණ ඇතිව මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කලේ , “කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය ආරම්භකර වසර 1 ½ ක් වැනි කෙටි කාලයක් තුල දේශීය සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ගේ කුළුබඩු විදේශ වෙළඳපලට යැවීමේ මූලික පියවර තබමින් මෙම වෙබ් අඩවිය ආරම්භ කිරීම පිළිබඳව ඉතාමත් සතුටට පත්වෙන බවත් වර්තමනයේ යම් යම් රාජ්‍ය ආයතන පාඩු ලබමින් වසා දමන තත්වයක පවතින අවස්ථාවක රාජ්‍ය ආයතනයක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ටද අවස්ථාව සලසමින් ආදායම් ඉපයීමට කටයුතු කිරීම අගය කරන බවත්ය.

චීනය වැනි රටවල කුළුබඩු සදහා විශාල වෙළඳපලක් තිබෙන බවත්, අප එවැනි වෙළඳපළවල් වෙත පිවිසීම තුලින් දේශිය සුළු හා මධ්‍ය පරිමාණ කුළුබඩු නිෂ්පාදකයන්ටද මෙන්ම වගාකරුවන්ට වැදගත් වෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ දේශීය කුළුබඩු පිළිබඳ තොරතුරු මෙන්ම කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන අළෙවිසැල් 24 පිළිබඳ තොරතුරුද මෙම වෙබ් අඩවිය තුළ අන්තර්ගත වේ. තවද මාර්ගගත ක්‍රමය හරහා (Online) ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයකට කුළුබඩු නිෂ්පාදන ගෙන්වා ගැනීමේ හැකියාවද මෙමඟින් ලැබෙන අතර ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඉතා ඉක්මනින් එම කුළුබඩු නිෂ්පාදන පාරිභෝගිකයින්ගේ අතටම ලබාදේ. ඉදිරියේදී විදේශගත ගැණුම්කරුවන්ටද මෙම මාර්ගගත ක්‍රමය ඔස්සේ කුළුබඩු නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමට කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය සැලසුම් කර ඇත.

මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය සහාපතිනි කුමුදුනී ගුණසේකර, කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය ප්‍රධාන විධායක අධ්‍යක්ෂ මහේෂ් ගුණරත්න, ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.