A12 8 A12 6
A12 3 A12 4
A12 7 A12 5
A12 2 A12 1


වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ සේවක මණ්ඩලය 2023 වසර සඳහා වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ උත්සවය 2023.01.02 වන දින සෙත්සිරිපාය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණි. එහිදී 2023 වසර සඳහා රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දුන් අතර එම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, වැවිලි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, අමාත්‍යංශ ලේකම් ජානක ධර්මකීර්ති, අතිරේක ලේකම්වරු, ආයතන ප්‍රධානීන් ඇතුළු සමස්ථ සේවක මණ්ඩලය එක්වූහ.


මෙහිදී අදහස් දැක්වූ වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයෙන් 2019 වසරේ ඩොලර් බිලියන 3.1 ක් වූ අපනයන ආදායම 2021 වසරේදී ඩොලර් බිලියන 3.8 ක උපරිමය දක්වා වැඩි වූ බවත් 2022 වසරේ ඊට වඩා අඩුවූ බවත් 2023 වසරේ එය ඩොලර් බිලියන 4 ක් දක්වාත් 2025 වර්ෂය වනවිට ඩොලර් බිලියන 5 ක් දක්වා රැගෙන යාම වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ඉලක්කය බවත් ප්‍රකාශ කළේය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා 2022 වර්ෂයේ මෙරට උද්ගත වූ පොහොර අර්බුදය ඇතුළු අනෙකුත් ආර්ථික දුෂ්කරතාවයනුත් , රුසියානු යුක්‍රේන යුද්ධය මුල්කොට ගත් ගෝලීය ආර්ථික අපගමනයත් මෙරට වැවිලි ක්ෂේත්‍රයේ අපනයන ආදයම අඩුකරලීමට මුල්වූ ආකාරය පෙන්වා දුන්නේය. එමෙන්ම 2022 වර්ෂය තුළ ඩොලර් බිලියන 7.7 ක් වූ ලෝක තේ වෙළදාමේ ආදයම ඊට පෙර වර්ෂයයන්ට වඩා එතරම් ප්‍රවර්ධනයක් නොපෙන්වා ඇති බවත් කෝපි මුල්කොට ගත් සමස්ථ ආදායම ඩොලර් බිලියන 35 සිට 42 දක්වා වර්ධනයක් ඇතිව ඇති බවත් පෙන්වා දුන්නේය. එමගින් අමාත්‍යවරයා වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ ඇතැම් නිෂ්පාදනයන් වෙනුවෙන් සංකෝචනය වන ලෝක වෙළෙඳපොළ තුළ අපේ නිෂ්පාදන අගය එකතුකිරීමේ ක්‍රියාදාමයන් සහිතව ඉදිරියට ගෙන යායුතුයි යන අභියෝගයත් පෙන්වා දුන්නේය. පසුගිය දුෂ්කර කාලය තුළ අභියෝග රැසක් මැද වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඉටුකළ මෙහෙයට අමාත්‍යංශයේ සියළු සේවක මණ්ඩලයට ස්තුතිය පළ කිරීමද සිදුකලේය.


මෙම අවස්ථාව අමතමින් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සදහන් කළේ රටට ප්‍රමුඛ විදේශ විනිමය උපයාදෙන ක්ෂේත්‍රයක් වන වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ වසර තුළත් සැමදෙනා එක්ව රට ගැන හිතා කටයුතු කළයුතු බවයි.


මෙහිදී අමාත්‍යංශ ලේකම් ජානක ධර්ම කීර්ති මහතාද ගෙවුණු වසරේ මුහුණ දුන් අභියෝග මෙන්ම ඉදිරි කාලයේ සැලසුම් ක්‍රියාත්මක කලයුතු ආකාරය පිළිබඳව උත්සව සභාවට පැහැදිලි කළේය.