ගෙදරට අවශ්‍ය පොල් ගෙවත්තෙන්ම නිෂ්පාදනය කරගනිමින් , පොල් වගාබිම්වල ඵලදාව වානිජ ආර්ථිකයක් කරා යොමු කිරීමට සෑම නිවසකටම ගුණාත්මයෙන් ඉහල දෙමුහුන් පොල් ප්‍රභේද පැළ 2 ක් ලබාදීමේ අරමුණ ඇතිව  ' ගෙදරට පොල් ගෙවත්තෙන් ' වැඩසටහන මේ වනවිට රටපුරාම ක්‍රියාත්මක වෙයි.


ගාල්ල දිස්ත්‍රික්කයේ කිතුලම්පිටිය , කලේගාන , මීපාවල සහ ලබුදූව ප්‍රදේශයන් මුල්කොට එම වැඩසටහන වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ක්‍රියාත්මක කෙරිණි. එහිදී සෑම නිවසකටම ගුණාත්මයෙන් උසස් දෙමුහුන් පොල් පැළ දෙක බැගින් ලබාදුන් අතර පොල් පර්යේෂණ ආයතනය එළිදක්වනු ලැබූ ' කප්රුක අත්පොත ' ග්‍රන්ථයත් ලබාදීම සිදුකෙරිණි. එම අත් පොත මගින් ජනතාවට පොල් වගාව පිළිබඳවත්, පොල් වගා කිරීමේ තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳවත්, පොල් වගාව ආශ්‍රිතව මතුවන උවදුරු හා ඉන් වගාව අත් මුදවා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳවත්, දැනුවත් භාවය ලබා ගත හැකිවෙයි.


කිතුලම්පිටිය ග්‍රාමය මුල්කොට ගෙන කිතුලම්පිටිය ආනන්ද පිරිවෙනේදී පැවැත්වූ පොල් පැළ බෙදාදීමේ වැඩසටහනට සමගාමීව පොල් පර්යේෂණ ආයතනයේ (CRI ) නිළධාරීන් විසින් පොල් පැල සිටුවන ආකාරය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරිණි.