වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සැප්තැම්බර් මස 29 වන දින ගාල්ල දිස්ත්‍රික්කය මුල්කොට ගෙන නියාගමදී  කිතුල් නිෂ්පාදකයන්ගේ ආර්ථිකය ශක්තිමත් කරමින්, ඉහළ ගුණාත්මයෙන් යුතු කිතුල් නිෂ්පාදන වෙළෙඳපොළට එක් කිරීම අරමුණු කර ගනිමින් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන නිෂ්පාදකයන් වෙත ආරක්ෂිත උපාංග කට්ටල ප්‍රධානය කිරීම සිදු කරන ලදී.


එහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය , නියාගම , නෙළුව , තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මුල්කොට ගෙන කිතුල් නිෂ්පාදනය ගම්මානවල කිතුල් ආශ්‍රිත නිෂ්පාදකයන් 300 කට පමණ ප්‍රමාණයකට ආරක්ෂිත උපාංග කට්ටල ප්‍රදානය කිරීම සිදුකෙරිණි. එම උපාංග කට්ටලයන්ට ආරක්ෂිත හිස්වැසුම් , විශේෂ භාජනයන්, විදුලි පන්දම් , වැහි කබායන් ආදි ද්‍රව්‍යයන් අන්තර්ගත විය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ ලෝකයේ ස්වභාවික සීනි අඩංගු ද්‍රාවණයන් අතර කිතුල් පැණි සුවිශේෂීත්වයක් දක්වන බවත් , එම ගුණාංගයන් මුල්කොට ගෙන ඉදිරියේදී ලෝකය තුළ කිතුල් පැණි වඩාත් ප්‍රචලිත කරමින් අපනයන ආදයම ප්‍රවර්ධනය කරගත හැකි බවයි. එමෙන්ම කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සියල්ල වානිජ මට්ටමෙන් ප්‍රවර්ධනය කිරීමට කිතුල් සංවර්ධන මණ්ඩලය හරහා සැලසුම් රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් , එය කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරමින් කිතුල් වගාවේ උන්නතිය උදෙසා ගුණාත්මයෙන් ඉහල කිතුල් ප්‍රභේද හදුන්වාදීමට විවිධ පර්යේෂණයන් සිදුකරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේය.


මෙම අවස්ථාවට අමාත්‍යංශ නිළධාරින් , කිතුල් සංවර්ධන මණ්ඩලයේ සභාපති නීතිඥ ගිහාන් පෙරේරා ඇතුළු නිළධාරින් , ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිළධාරින් , ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.