2019 වර්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මුල්වරට වාර්තා වුනු මෙරට පොල් වගාවට හානිදායක සුදු මැස්සා මර්ධනය කිරීමේ වැඩසටහන ගම් මට්ටමෙන් ඇරඹීම සිදුවෙයි. වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදේශකත්වයෙන් පොල් පර්යේෂණ ආයතනයත් , පොල් වගා කිරීමේ මණ්ඩලයත්  එක්ව මෙම වැඩසටහන දියත් කෙරෙයි. එම වැඩසටහනේ මාලාවේ තවත් අදියරක් රාගම බටුවත්තේදී ඔක්තෝබර් 6 වෙනිදා සිදුකෙරිණි.

එහිදී සුදු මැස්සා උවදුර පිළිබඳව ජනතාව මූලිකව නිදර්ශන සහිතව දැනුවත් කෙරිණි. එමෙන්ම සුදු මැස්සා මර්ධනයට යොදා ගත හැකි කෘමි නාශක පිළිබඳවත්, ඒවා යොදා ගන්නා මාත්‍රාව සහ ක්‍රමවේදය පිළිබඳවත් දැනුවත් කෙරිණි. එයට අමතරව එහිදී ප්‍රායෝගිකව පෙන්වා දෙනු ලැබුවේ සබන් දියර සමග කොහොඹ තෙල් මිශ්‍ර කොට සුදු මැස්සා මර්ධනයට යොදා ගත හැකි ආකාරය පිළිබඳවයි. මෙම මිශ්‍රණය පොල් පත්‍රිකාවල යට පැත්ත හොදින් තෙමෙන සේ සති දෙකකට වරක් මාස 2 ක් ඉසීමෙන් සුදු මැස්සන් මර්ධනය කල හැකි බවත් එයට අමතරව ග්‍රීස් ආලේප කල කහ පැහැති පොලිතින් පොල් ගසේ කද වටා එල්ලා තැබීමෙන් සුහුඹුල් මැස්සන් ආකර්ශනය මර්ධනය වන බවත් එහිදී සදහන් කෙරිණි.

සුදු මැස්සා ඇතුළු පොල්වගාව වෙනුවෙන් මතුවන ගැටළු සදහා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ පොල් පර්යේෂණ ආයතනය මේවනවිට 1928 ලෙසින් හදිසි ඇමතුම් අංකයක් ස්ථාපිත කොට ඇති අතර 0704001928 ලෙසින් වට්ස්ඇප් අංකයක්ද හදුන්වා දී තිබෙයි. එම වට්ස්ඇප් අංකයට පොල්වගාවට මතුවන රෝග හෝ උවදුරු ඡායාරූප ගත කර එවීමෙන් ඒ පිළිබඳව මූලික අවබෝධයක් ජනතාවට ලබාගත හැකිවෙයි.

මෙම සුදු මැස්සා උවදුර පිළිබඳව ප්‍රායෝගිකව දැනුවත් කිරීමේ අවස්ථාවට පොල් පර්යේෂණ ආයතනයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඇතුළු පොල් පර්යේෂණ ආයතනයේ නිළධාරින් , පොල්වගා කිරීමේ මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය කලමනාකාර කපිල හෙට්ටිආරච්චි මහතා ඇතුළු රේඛීය ආයතනවල නිළධාරින් රැසක් එක්ව සිටියහ. මෙම සුදු මැස්සන් මර්ධන වැඩසටහන් සුදු මැස්සා උවදුර හදුනාගත් දිස්ත්‍රික්කවල මේවනවිට අඛණ්ඩව ක්‍රියාත්මක වීම සිදුවෙයි.