වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ මෙරට නෙදර්ලන්ත තානාපතිනිය වූ (H.E)Bonnie Horbach මහත්මිය අතර මෙම විශේෂ රාජ්‍ය තාන්ත්‍රික හමුව පසුගියදා වැවිලි කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුවිය.
දෙරට අතර කෘෂිකර්මය ආශ්‍රිතව නව ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබදවත්, මෙරට සාම්ප්‍රදායික කෘෂිකාර්මික පිළිවෙත් මෙන්ම නෙදර්ලන්තය තුළ ඇති නවීන තාක්ෂණික ක්‍රම එම සම්ප්‍රදායික කෘෂිකර්මාන්තය සමග මුසු කර ඉහළ ප්‍රතිපල ලබා ගැනීමේ නව ව්‍යපෘති සම්බන්ධවත් මෙහිදී මූලිකව අවධානය යොමු විය.

එමෙන්ම වැවිලි කර්මාන්තය සහ කෘෂිකර්මාන්තය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරෙහිද දෙපාර්ශවයේ අවධානය යොමු විය. එයට අමතරව රසායනික පොහොර භාවිතය අඩු කර කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි වැඩ පිළිවෙල සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු විය.
 
නෙදර්ලන්තයේ විවිධ කර්මාන්ත සදහා විශේෂයෙන් චොකලට් ඇතුළු විවිධ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී අවශ්‍ය වන පොල්තෙල් මෙරටින් ආනයනය කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීමටත් මෙහිදී සාකච්ඡා කෙරිණි.
 එමෙන්ම මෙරට සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා නෙදර්ලන්ත සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබදවත් සාකච්ඡා කෙරුණු අතර සංචාරක කර්මාන්ත වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇති ඉහළ විභවතාවය පිළිබඳව තනාපතිනියගේ ප්‍රශංසාවට ලක්වීමද සිදුවිය.

මෙහිදී අමාත්‍යවරයා මෙරට නිදහස් සෞඛ්‍ය මෙන්ම ජනතාවගේ පෝෂණ තත්වයන් පිළිබඳව පැහැදිලි කරමින්,රටේ ආර්ථික තත්වය සහ ජිවන වියදම පිළිබදවත් ,රුසියානු - යුක්‍රේන යුද්ධය නිසා ලෝක වෙළදපොළ තුළ ඉන්ධන, තිරිගු පිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ශ්‍රී ලංකාවටද බලපා ඇති ආකාරයත් , චීනය, ජපානය සහ ඉන්දියාව අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ මිත්‍ර රටවල් නිසා ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ඔවුන් විසින් සුභවාදී ප්‍රතිචාර දක්වා ඇති බවත් තානාපතිනිය වෙත පෙන්වා දීම සිදුකෙරිණි.

ඉතා ඉහළ අධ්‍යාපන තත්වයක් සහ තොරතුරු තාක්ෂණ හැකියාවක් ඇති ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගයද සමගින් නැවත මැදි අදායම් ලබන රටක් ලෙස පෙර පැවති තත්වයට ඉක්මනින් පැමිණීමට හැකිවනු ඇති බවට මෙහිදී තානාපතිනිය තම විශ්වාසය පල කළාය.
මෙම අවස්ථාවට නෙදර්ලන්ත කෘෂිකර්ම උපදේශක Michiel van Rrkel , ජ්‍යේෂ්ඨ ප්‍රතිපත්ති උපදේශක නිෂාන් දිසානායක ඇතුළු සම්භාවනීය පිරිසක් එක්වූහ.