මෙහිදී තේ කර්මාන්තයේ පාර්ශවකරුවන් හට වඩාත් යහපත් ප්‍රවේශයක්, කාලින විශ්ලේෂණ සහ ව්‍යාප්ති සේවයක් ලබාදීමේ මූලික පර්මාර්ථය යථාවත් කරමින් සාර්ථකව ස්ථාපනය කරන ලද මෙම ජංගම විද්‍යාගාරය සහ ව්‍යාප්ති සේවය තුළින් කුඩා තේ වතු හිමියන්ට ඔවුන්ගේ වගා ක්ෂේත්‍රය තුළදීම තේ වගාවේ පාංශු තත්වයන්, රෝග පිළිබඳව සොයා බැලීම් ආදි විද්‍යාගාර තාක්ෂණික කටයුතු සිදුකර ගත හැකිවෙයි. එය තේ කර්මාන්තයේ අභිවෘද්ධියට මහත් පිටුවලයක් වෙයි.

මෙරට වැවිලි කර්මාන්තය, කෘෂි කර්මාන්තය දීර්ඝ කාලයක සිට වර්ධනය වී තිබු නමුත්, කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුවට අවශ්‍ය දැනුම හා කුසලතාවය අධ්‍යාපන පද්ධතිය තුළින් විධිමත් ලෙස සම්ප්‍රේශනය වී නොමැති බැවින් වෘත්තියාභිමුඛ අධ්‍යාපන ක්‍රමවේදයක් වෙත යොමුව ඒ හරහා ආර්ථිකය ශක්තිමත් කල යුතුව බව ගරු වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා 2022.09.09 දින රත්නපුර  ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේදී එහි ජංගම විද්‍යාගාරය සහ ව්‍යාප්තිය සේවය එලි දැක්වීමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් ප්‍රකාශ කරන ලදී. මෙය පැවැත්වුනේ කුඩා තේ වතු හිමියන් උදෙසා පැවැත්වෙන 42 වන පර්යේෂණ හා ව්‍යාප්ති සේවයට සමගාමිවයි.

මෙම අවස්ථාවට අමාත්‍යංශ නිළධාරින්, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිළධාරින්, කුඩා තේවතු හිමියන්, වතු ආශ්‍රිත සමිති සාමාජිකයන්, තේ කර්මාන්තයේ නියැලෙන්නන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.