" කර්මාන්ත වෙනුවෙන් රටක් ලෙස අප කරන ආයෝජනය වැඩි කල යුතුයි. ආනයනය කරන භාණ්ඩ හැකිතාක් අවම කොට ඒවා මෙරට නිෂ්පාදනය කලයුතුයි. මෙරට නිෂ්පාදනය කරන දේ උපරිමව අපනයනය කලයුතුයි " ගරු වැවිලි කර්මාන්ත හා  කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සැප්තැම්බර් 6 ගාල්ල වලහන්දූව වතුයායේ අභිනවයෙන් ඉදිකල කුඩා තේ වතු සංවර්ධන සමිති කාර්යාල පරිශ්‍රය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් මේ බව ප්‍රකාශ කරන ලදී.
රුපියල් මිලියන 50 ක ආයෝජනයක් සිදුකරමින් ආර්ථික සහ සමාජීය වශයෙන් කුඩා තේ ඉඩම් අංශයේ ඵලදායිතාව සහ ගුණාත්මය වර්ධනය කිරීම වෙනුවෙන් උපකාර සේවා සැපයීම සදහා මෙම මධ්‍යස්ථානය ඉදි කොට තිබේ.


එම අවස්ථාවේදී කුඩා තේවතු හිමියන් වෙනුවෙන් වතුර මෝටර් 50ක්, දියර ඉස්න යන්ත්‍ර 20 ඇතුළු උපකරණ බෙදාදීමක්ද සිදුකෙරිණි.
2022 වසර සියළුම දෙනාට ඉතා දුෂ්කර කාලයක් බවත් වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ තේ කර්මාන්තය තුළ පමණක් පොහොර අර්බුදය හේතුවෙන් දළු අස්වැන්න 15 % කින් පමණ අඩු වී ඇති බවත්  2019 වර්ෂයේ දළු කිලෝවකට ගෙවූ රුපියල් 80 ක මුදල මේ වනවිට රුපියල් 250 ක් ඉක්මවා තිබෙන බවත් පසුගිය දවසක ඉතිහාසයේ වැඩිම මිල ලෙස තේ කිලෝවකට රුපියල් 420 ක් ලබා දී තිබෙන බවත් එමෙන්ම පොහොර අර්බුදයක් නොතිබුණු 2020 වර්ෂයේ දළු අස්වැන්න කිලෝ මිලියන 280 ක් වනවිට පොහොර අර්බුදය පැවති 2021 වර්ෂයේ එය කිලෝ මිලියන 300 ක් දක්වා වැඩි වී ඇති බවත් එයට හේතු වසර පුරා පැතිරුණු වර්ෂාපතනය බවත් ගරු අමාත්‍යතුමා විසින් ප්‍රකාශ කරන ලදී.


එසේම මෙහි දි වැඩිදුරටත් අදහස් දැක්වු ගරු අමාත්‍යතුමන්, තේ වගා ක්ෂේත්‍රයේදී ක්‍රියාත්මක කරන පාංශු සංරක්ෂණය, පසේ වයනය වැඩිකිරීම, පැල තවාන් ඇතිකිරීම, ජල කලමනාකරනය, ශාක නඩත්තුව ආදි ක්‍රියාකාරකම් හරහා පොහොර අර්බුදය නිසා හටගත් අස්වැන්නේ අපගමනය නැවත යතා තත්වයට පත් කර ගැනීමට හැකි බවත්  ඒ සඳහා සියළු තේ වගා කරුවන්ගේ නොමද සහාය අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කරන ලදී. එම අවස්ථාවට හිටපු වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා, වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය තුෂාර ප්‍රියදර්ශන, සාමාන්‍යාධිකාරී ධම්මික මහීපාල, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඇතැළු රාජ්‍ය නිළධාරීන් මෙන්ම ප්‍රාදේශීය දේශපාලන අධිකාරියත් එක්ව සිටියහ.