ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබාදුන් ණය මුදල් කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන්ටම ලබාදීම සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කරන ලෙස වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා රාජ්‍ය බැංකුවලට උපදෙස් දුන්නේය.
ණය මුදල ලබා ගැනීමට පැමිණි විට කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් අපහසුතාවයට පත්වන බවට අමාත්‍යංශයට තොරතුරු ලැබී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් නඟා සිටුවීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් රුපියල් මිලියන 797 ක ණය මුදලක් රජයට ලබාදී ඇති අතර රාජ්‍ය බැංකු 10 ක් මගින් එම ණය මුදල කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන්ට ලබාදෙනු ලැබේ.


එහි ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළා.
කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් නඟා සිටුවීමට ආසියානු සංවර්ධන බැංකුව මගින් රුපියල් මිලියන 797 ක මුදලක් ණය ආධාර වශයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට ලබාදුන්නා. රාජ්‍ය බැංකු දහයක් මගින් එම ණය මුදල් කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් සඳහා ලබාදෙනවා.
මෙම ණය මුදල් ලබාගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් ණය මුදල් ලබාගැනීමට ගිය විට ණය මුදල් ලබාදී අවසන් බවට පවසමින් බැංකු තමන්ගේ ණය යෝජනා ක්‍රම පිළිඳව තේ වතු හිමියන් දැනුවත් කරන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. මේ නිසා තේ වතු හිමියන් අපහසුතාවයට පත් වෙනවා. එම ජනතාව අපහසුතාවට පත් නොකර අදාළ ණය මුදල් ලබාදෙන ලෙසට අප බැංකුවලින් ඉල්ලීමක් කරනවා.


මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න සියයට 75 ක් පමණ වන කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් සුවිශේෂි කාර්යභාරයක් සිදුකරනවා. අප එය අගය කළ යුතුයි. රජයට අවශ්‍ය මේ කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් තවත් ශක්තිමත් කරන්නයි.
‌මෙම ණය මුදල කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන්ට ප්‍රමුඛතාවය ලබා දී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසද අමාත්‍යාවරයා නිලධරීන්ට දැනුම් දුන්නේය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ණය මුදල් ලබාදීමේදී කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමුකරන ලෙසත් එම තේ වතු හිමියන්ට දරා ගත හැකි මට්ටමේ ණය වාරික අනුමත කරන ලෙසද අමාත්‍යවරයා රාජ්‍ය බැංකුවලට උපදෙස් දුන්නේය.
රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ වැවිලි අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා, සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත භෝග වගා තේ කර්මාන්තශාලා නවීකරණය හා ‍තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජේ. එම්. තිලකරත්න බණ්ඩා මහතා ඇතැළු අමාත්‍යංශ නිලධාරීන්ද, රාජ්‍ය බැංකුවල ප්‍රධාන නිලධාරීන් ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.