ඉදිරි වසරක කාලය තුල වැවිලි භෝග මගින් මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන පහ ඉක්මවා යනු ඇතැයි වැවිලි කර්මාන් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඉකුත් දා ලුණුවිලදී පැවසීය.


වත්මන් රජය වගා කටයුතු වෙනුවෙන් නිරන්තරයෙන්ම දිරිය ලබාදෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


ලුණුවිල පොල් පර්යේෂණායතනයේ ඉකුත් දා පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.


දේශීය පරිභෝජනයට වගේම විශාල අපනය ආදායමක් උපයා ගැනීම වෙනුවෙන් පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කර ගැනීම රජයේ අරමුණ බවට පත්ව තිබෙනවා. පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මගින් මෙම වසර තුළ දැනට ලබාගත් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන හත්සියය ඉක්මවා තිබෙනවා. වසර අවසන්වන විට පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන තුලින් ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ලබාගැනීමට අප බළාපොරොත්තු වෙනවා.


ලබන වසර අවසන්වන විට මෙරට අපනයන භෝග අතරින් රටට වැඩිම ආදායම උපයා දෙන භෝගය බවට පොල් වගාව පත්කිරීමට අදාළ ආයතන කටයුතු කළ යුතුයි. පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන හයසියයක පමණ ආදායමක් අප පසුගිය වසරේදී ලබාගෙන තිබෙනවා. මෙම ආදායම ඇමරිකානු ඩොලර් දහස දක්වා වැඩිකර ගැනීමේ අභියෝගය අප හමුවේ තිබෙනවා.


ඒමෙන්ම තේ වගාව තුලින් අප රටට වසරකට ඇමරිකානු ‌ඩොලර් බිලියන 1'3 ක පමණ ආදායමක් උපයාගෙන තිබෙනවා. නමුත් ඒ අදායම පසුගිය වසර කිහිපය තුළම පවතින්නේ ඒකම ස්ථාවරයකයි. අගය ඒකතු කිරීම වැනි කටයුතු මගින් තේ වලින් ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 2 දක්වා වැඩිකර ගැනීමට කටයුතු කරනවා. ඊට අමතරව රබර් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයන කිරීම මගින් අප මෙම වසරේදී ලබන ආදායම ඇමරිකානු ‌ඩොලර් බිලියනයක් ඉක්මවනවා. ඒය අප ලබන ‌සුවිශේෂි ජයග්‍රහණයක්.
විශේෂයෙන්ම පොල් ගස් කපාදැමීම සම්බන්ධයෙන් අප නව නීති ඇතුළත් කරමින් ගැසට් නිවේදන නිකුත කර තිබෙනවා. ඒ අනුව දැන් කෙනෙක්ට හිතෙන  විදියට පොල් ගස් කපන්න බැහැ. ඊට අමතරව 070 4001928 වට්සප් අංකය මගින් සහ 1928 දුරකථන අංකය මඟින් පොල් වගාව සම්බන්ධ ප්‍රශ්න පිළිබඳව විමසිය හැකියි. පොල් පැලවල මතුවන යම් යම් රෝගී තත්ත්වයන් සම්බන්ධ ඡායාරූපයක් ඉහත වට්සප් අංකයට යොමු කළ විට අප ඒ සම්බන්දයෙන් ක්ෂණිකව ප්‍රතිචාර ලබාදෙනවා.


ඒමෙන්ම වසර පහකට වඩා වැඩි කාලයක් පුරන්ව පවතින දැනට වී වගා නොකරන කුඹුරුවල පොල් වගා කරන්න අවසර දී තිබෙනවා. පටක රෝපණය මගින් පොල් පැල නිෂ්පාදනය කිරීමේ නව ක්‍රමවේදයක් අප ආරම්භ කර තිබෙනවා. ඒවැනි ක්‍රමයක් ලෝකයේ පළමු වරට ක්‍රියාත්මක වන්නේ අපේ රටේ පමණයි. කටුපොල් වගාව තහනම් කළා. පාම් තෙල් ආනයනය තහනම් කළා. මේ වගේ වැවිලි කර්මාන්තය නඟා සිටුවන්න අප සුවිශේෂි තීන්දු තීරණ රාශියක් ගෙන තිබෙනවා.
මීට අමතරව කුරුඳු, ගම්මිරිස් වැනි අනෙකුත් අපනයන භෝග මගින් ලබන ආදායම අනෙක් වසර වලට වඩා දෙගුණ වෙමින් තිබෙනවා. ඉකුත් වසරේදී කුරුඳු, ගම්මිරිස් වැනි අපනය භෝග මගින් අප ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන හාරසියයයි. නමුත් මේ වසරේ දැනටමත් අප ඇමරිකානු ඩොලර් මිලියන 600 ක ආදායමක් ලබා තිබෙනවා.
මෙය වගාවට දිරිදෙන රජයක්. ඇතැම් අය මේ කර්මාන්තයේ නිරතවන්නේ රජයේ අනුග්‍රහයක් නැතුවයි. ඉදිරියේදී අප ඒවැනි පුද්ගලයන්ට මූල්‍ය පහසුකම් ලබාදෙන්න කටයුතු කරනවා.


පොල් පර්යේෂණ ආයතනයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා මෙසේ පැවසීය.
ඉදිරි වසර දෙක අවසන් වන විට මෙරට අපනයන ආර්ථිකයේ ප්‍රමුඛයා බවට පොල් කර්මාන්තය පත්කිරීමට අප බළාපොරොත්තු වනවා. මේ වනවිට රටේ සමස්ථ පොල් නිෂ්පාදනයෙන් සියයට හැත්තෑවක් පමණ ගෘහස්ථ පරිභෝජනය සඳහා වෙන්වනවා. ඉන් සියයට තිහක් පමණ නිකරුණේ නාස්ති වෙනවා. තවත් සියයට දහයක් පමණ සත්ව හා පළිභෝධ උපද්‍රව නිසා නාස්ති වෙනවා. මේ නාස්තීන් වළක්වා ගැනීමෙන් විශාල වශයෙන් පොල් හා ආශ්‍රිත නිෂ්පාදන අපනයන කළ හැකියි.
සාමාන්‍යයෙන් අප රටේ පොල් ගසක වාර්ෂික අස්වැන්න පොල් ගොඩි හතලිහක් හෝ පණහක් පමණ වෙනවා. මෙය තවත් වර්ධනය කරගත යුතුයි. ඒ සඳහා ඉතාම පහසු ක්‍රම උපයෝගි කරගන්න අප බළාපොරොත්තු වෙනවා.